ආවා තමා පතලේ වැඩ කරන්ට
බැරුවා තමා ඉනිමං වල බැස යන්ට
මැරුවා වගේ ළඟ ඉඳගෙන කියන කොට
බැරුවා දෙවියන් ඒ කළුගල් බිඳින්නට
දබර කරනවා අත් දෙක වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත්මිටි කනවා
වතුර ඇදල අත්වල කරගැට එනවා
මිතුර පතල් වැඩ ගැන මගෙ බඩ දනවා
දුම්බර කන්ද පාමුල මිනිරන් පතලේ
බැස ලා බඹ තිහක් කලුගල සිදුරු කළේ
බස්නාහිරට දෝලා දෙක ගමන් කරේ
විස්තර කියමි දුම්බර මිනිරන් පතළේ
ඉන්නෙත් දුම්බරයි මහ කළු ගලක් යට
කන්නෙත් කරවලයි රට හාලේ බතට
බොන්නෙත් බොර දියයි පූරුවෙ කළ පවට
යන්නේ කවදාද මව්පියො දකින්නට
කළුවන් කළු රුවයි මංගෝ දිලිසෙනවා
මිනිරන් තෝරන්න දින ගණමින් යනවා
මිනිරන් තේරුවොත් ළඳ නුඹ කළු වෙනවා
ළඟ නම් ගෙදර මුර ඇරුණම මම එනවා
0 Comments